අප ජීවත් වන්නේ මානව අයිතිවාසිකම් සම්බන්ධව ලෝකයම ඉතා උනන්දු සහ උද්‍යෝගයෙන් කටයුතු කරන යුගයක යි.අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන විශේෂයෙන් LGBTIQA+ (Lesbian ,Gay,Bisexual ,Transgender,Intersex,Queer,
ශ්‍රී ලංකා නීතිය තුළ පිළිගැනීමක් ලබා දී ඇත්තේ ස්ත්‍රී සහ පුරුෂ යන පුද්ගල කාණ්ඩ දෙකට පමණි.ඒවා හැර තුන්වන ස්ත්‍රීපුරුෂභාවයකට (3rd gender) හෝ සංක්‍රාන්ති ලිංගිකයන්ට (Transgender ) නීතිය ඉදිරියේ පිළිගැනීමක් ලබා දී නැත.නමුත් තුන්වන කාණ්ඩයකට පිළිගැනීමක් ලබා දී ඇති අතරඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටද පියවර ගෙන ඇත.නෛතික ස්ත්‍රීපුරුෂභාවය (Legal gender) ජීවවිද්‍යාත්මක වෙනස් කිරීමට හැකි නිශ්චිත ක්‍රමවේදයක් අප රටේ නොමැත.යම් පුද්ගලයෙකට තම ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ ස්ත්‍රීපුරුෂභාවය (Gender designation ) වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් අනුගමනය කළ යුතු කාර්‍යපටිපාටිය කුමක්ද යන්න නිශ්චිත නොමැත.තවද ජීවවිද්‍යාත්මක ස්ත්‍රීපුරුෂභාවය ශල්‍යකර්ම හෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් වෙනස් කිරීමට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ද ලංකාවේ නොමැති සේම ඒ සදහා අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාදාමයක් ද මේ වන තෙක් නිර්මාණය කොට නොමැත.
යම් පුද්ගලයෙකු තමාගේ ස්ත්‍රීපුරුෂ අනන්‍යතාව (Gender Identity ) සමාජයට ප්‍රකාශ කරන ආකාරය ස්ත්‍රීපුරුෂ සමාජභාවය ප්‍රකාශනය (Gender Expression ) ලෙස හදුන්වයි.මෙම සංකල්පයට ද මානව හිමිකම් නීතිය තුළ ලිංගික හැඩගැස්ම (Sexual Orientation ) සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය (Gender Identity ) යන සංකල්පවලට මෙන්ම පිළිගැනීමක් ඇත.යම් අයෙකු විරුද්ධ ලිංගිකයෙකු අඳින පලඳින ආකාරයට ඇඳ පැලඳ සිටීම නිසා (Cross-dressing ) වෙනස්කමකට භාජනය නොක්ළ යුතු බව ද පිළිගත් සිද්ධාන්තය කි.ලංකාව තුළ ද තත්වය ඒ හා සමාන ද යන්න අවධානය යොමු කළ යුතු ය.
ශ්‍රී ලංකාවේ විරුද්ධ ලිංගිකයන් සේ අඳින පළඳින පුද්ගලයන්ගේ (Crossdressers) අයිතිවාසිකම් සීමා කිරීමට වරින් වර යොදා ගන්නා ලද පනත් දෙකක වගන්ති දෙකක් ඇත.ඉන් පළමු වැන්න 1941 අංක 04 දරණ අයාල ආඥාපනත (Vagrants Ordinance ) යි.එහි 07 වගන්තියේ උපවගන්ති (අ) සහ (ආ) දෙකේ හරය මෙලෙස සරලව දැක්විය හැක.
(අ) -යම් ප්‍රසිද්ධ ස්ථානයකදී හෝ අවට තමා සමග හෝ අන් අයෙකු සමග ලිංගික සංසර්ගයේ යෙදීමට හෝ අශිෂ්ට ක්‍රියාවක යෙදීමට පෙළඹවීම වරදකි.
(ආ)- යම් කිසි පුද්ගලයෙකු ප්‍රසිද්ධ ස්ථානයක දී හෝ අවට යම් දැඩි අශිෂ්ට ක්‍රියාවක් හෝදැඩි අශිෂ්ට ආකාරයෙන් හැසිරීම වරදකි.
ඉහත වගන්ති දෙක යොදා ගෙන විරුද්ධ ලිංගිකයෙකු ලෙස අඳින පලඳින අයෙකු අත් අඩංගුවට ගත හැකිද යන්නත් වගන්තිය විශ්ලේෂණය කර බැලිය යුතුය.හුදු විරුද්ධලිංගික ඇඳුමකින් සැරසීම නිසාම පුද්ගලයෙකු ලිංගික සංසර්ගයකට හෝ වෙනත් අශිෂ්ට ක්‍රියාවකට පෙළඹවීම කළ නොහැක.එසේම මෙසේ ඇඳ පැලඳීම "අශිෂ්ට ක්‍රියාවක්" ලෙස නිර්වචනය කළ හැකිද යන්න ප්‍රශ්නයක් මතු වේ.පනතේ අර්ථය ඒ දක්වා පුළුල්ව අර්ථනිරූපණය කරනු ලැබුවහොත් කලිසම් අඳින කාන්තවන් ද මේ වගන්තිය යටතේ වරදක් කරන ලෙස සැලකීමට සිදු වේ.ව්‍යවස්ථාදායකය මෙම පනත තුළින් මෙවැනි කාර්‍යක් බලාපොරොත්තු වූව යැයි සිතිය නොහැකි නිසා විරුද්ධ ලිංගිකයම් සේ අදෛන පලදින පුද්ගලයන්ට එරෙහිව මෙම නීතිය භාවිතා කිරීම වැරදිසහගත බව මාගේ පුද්ගලික මතයයි.
දෙවෙනි පනත වන්නේ දණ්ඩ නීති සංග්‍රහය (Penal Code) යි.එහි 399 වගන්තිය තුළ "අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම" යන වරද දක්වා ඇත.එහි සදහන් වන්නේ " යමෙකු වෙනත් තැනැත්තෙකු ලෙස බොරුවට හඟවමින් හෝ වෙනත් තැනැත්තෙකු වෙනුවට තවත් තැනැත්තෙකු දැනුවත්ව පෙනී සිටිමින්,හෝ එකී තැනැත්තා හෝ වෙනත් තැනැත්තෙකු නියම වශයෙන්ම එකී තැනැත්තා හෝ වෙනත් තැනැත්තෙකු නොව ,අන් තැනැත්තෙකු යැයි නිරූපණය කරමින් රවටතොත් ඔහු "අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කළ ලෙස" සලකනු ලැබේ " යනුවෙනි.මෙම වගන්තිය සම්බන්ධව ලබා දෙන ලද ස්මිත් එරෙහිව ජයසූරිය (1899 Koch's rep 42 ) යන නඩුවේදී ප්‍රකාශ කරන ලද්දේ අන් අයෙකු ලෙස පෙනී සිටීම නිසා යම් පුද්ගලයෙකු රැවටීම ප්‍රමාණවත් නොවන බවත් විත්තිකරු විසින් පැමිණිලිකරුව වංචාසහගතව සහ වංචනිකව රැවටූ බව ඔප්පු කළ යුතු බවයි.මෙම තීන්දුව අනූව පෙනී යන්නේ පුද්ගලයෙකු විරුද්ධලිංගිකයෙකු ලෙස ඇඳ පැලඳ සිටි පමණින් මෙම වගන්තිය යටතේ වරදක් කළා යැයි පවසමින් අත් අඩංගුවට ගත නොහැකි බවයි.
අප විසින් ඉහත විමසුමට ලක් කළ ඉහත පනත් දෙකේ වගන්ති විශ්ලේෂණය කිරීම තුළින් පෙනී යන්නේ වංචනික අරමුණකින් තොරව විරුද්ධ ලිංගිකයෙකු ලෙස ඇඳ පැළඳ සිටීම තුළින්ම හෝ ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම මගින් අපරාධමය වරදක් සංස්ථාපනය නොවන බවයි.එම වගන්ති දෙක යටතේ නිර්දෝෂී පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන හෙයින් පොලිස් නිලධාරින්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් වුවද ගොනු කළ හැකිය.Cross-dressing සම්බන්ධව නීති තත්වය මෙය වුවද සමලිංගිකයන් දෙදෙනකු ලිංගිකව එකතු වුවහොත් එය අපරාධමය වරදක් ලෙස සැලකේ.දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ වගන්තිය මගින් සමලිංගික සබදතා තහනම් කොට ඇත."තැනැත්තන් අතර දැඩි අශිෂ්ට ක්‍රියා" ලෙස දක්වා ඇති එම වගන්තියේ සදහන් වන්නේ ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තෙකු සමග දැඩි අශිෂ්ට ක්‍රියාවක් සිදු කරන නැතහොත් එවැනි යම් ක්‍රියාවකට පාර්ශවකරුවෙකු වන හෝ එබඳු යම් ක්‍රියාවක් යම් තැනැත්තකු විසින් කරනු ලැබීම කුට්ටනය කරන හෝ කුට්ටනය කිරීමට තැත් කරන අයෙක් වරදක් සිදු කරන බවයි.මෙහි කුට්ටනය ලෙස සැලකෙන්නේ ගණිකා සේවයේ යෙදවීම වේ.මෙම වරදට වසර දෙකක් දක්වා සිරදඩුවම් ලබා දිය හැකි බව දක්වා ඇත.යම්හෙයකින් මෙම වරද වයස 18 ට වැඩි පුද්ගලයෙකු විසින් වයස 16 ට අඩු පුද්ගලයෙකුට කරනු ලබයි නම් අවුරුදු 10 සිට අවුරුදු 20 දක්වා සිරදඩුවම් ලබා දීමට හැක.මේ සම්බන්ධව මා විසින් ලියන ලද "සමලිංගික සේවනයේ යෙදීම වරදක් ද?" යන ලිපිය තුළින් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බැවින් මෙහිදී ඒ සම්බන්ධව දීර්ඝව සාකච්ඡා නොකරමි.
පොලිස් නිලධාරින් විසින් විරුද්ධලිංගිකයන් සේ අඳින පළඳින පුද්ගලයන් සම්බන්ධව කටයුතු කරන ආකාරය වෙනස් විය යුතුය.ඔවුන්ට ද සමාජයේ නිසි ගෞරවය හිමි විය යුතුය.මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයේ පළමු වගන්තියේ දක්වා ඇත්තේ "සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත.ගරුත්වයෙන් හා අයිතිවාසිකමවලින් සමාන වෙති.යුක්ති අයුක්ති පිළිබඳ හැඟීමෙන් හා හෘදය සාක්ෂියෙන් යුත් ඔවුන්,ඔවුනොවුන්ට සැලකිය යුත්තේ සහෝදරත්වයෙනි" යනුවෙනි.පුද්ගලයෙකුගේ ලිංගික අනන්‍යතාව ,ලිංගික හැඩගැස්ම හෝ ස්ත්‍රීපුරුෂභාවය ප්‍රකාශනය අනුව වෙනස් කොට සැලකීම මානව හිමිකම් උල්ලංඝනය කි.එහෙයින් මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් කටයුතු කිරීමට පොලිස් නිලධාරින්ට අත් හැරිය නොහැකි වගකිමක් ඇත.එසේම එවන් මානව හිමිකම් කඩ වීමක් වනවා නම් ඊට එරෙහිව හඬ නැගීම තුළින් අරගල කිරීම තුළින් වඩා සුන්දර හෙට දවසක් නිර්මාණය කරගැනීමට පුරවැසියන්ට ද අයිතියක් හා වගකීමක් ඇත.
~ නීතීඥ සාරංග වාදසිංහ ~
Followers
Wednesday, April 27, 2022
Cross-dressing නීතියට එකඟද නැද්ද ?
Friday, January 14, 2022
සේකර ජීවමානයි 💐
1929 අප්‍රියෙල් මස 27 වැනි දින සියනෑ කෝරළයේ රදාවාන ග්‍රාමයේ දී ජෝන් අප්පුහාමි හා රණවන ආරච්චිලාගේ රොසලින්නෝනා යුවළගේ දරුවකු ලෙස මෙලොව එළිය ලැබ, රදාවානේ ප්‍රාථමික පාසැලෙන් මූලික අධ්‍යාපනය ලැබ, කිරඳිවැල මිශ්‍රපාඨමාලාවෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබූ මහගම සේකර තම උසස් අධ්‍යාපනය නිමා කරන ලද්දේ ... සිංහල ගුරුවරුන් සදහා වූ චිත්‍රකර්ම චිභාගයෙන් සමත් වීමෙනි. ඉක්බිතිව නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලැබ, පුහුණු ගුරුවරයෙකු වශයෙන්තම වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු රජයේ භාෂාව දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයකු, ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන්සම්පාදකයකු, රජයේ ලලිත කලා ආයතනයේ විද්‍යාලයේ විදුහල්පතිවරයකු හා අධ්‍යාපනය අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපනයඅංගයේ අධ්‍යාපන නිලධාරියකු වශයෙන් ද සේවය කළේය.
ඉතා දුර්ලභගණයේ ප්‍රතිභාවකින්
හෙබි සේකර නවකතාවකරුවකු, කෙටිකතාවකරුවකු, කවියකු, ගේයපද රචකයකු, ළමා කතාරචකයකු , නාට්‍ය රචකයකු, පරිවර්තකයකු, ශාස්ත්‍රීය පර්යේෂකයකු , චිත්රශිල්පියකු, කංචුක නිර්මාණශිල්පියකු හා සිනමාකරුවකුද වූයේය. ඔහු විසින් රචිතකෘතීන් බොහොමයකි. ඒවා පිළිවෙලින් මෙසේ
ය.
ධවල සේනාංකයක -1956 යන පරිවර්තනය කෘතිය ද ,පුංචි අපට කයිකතන්දර -1958, සරු පොළොවක් අපට ඇතේ - 1973, කොටි වලිගය-1990 යන ළමා කෘතීන් ද ව්‍යංගා ( කේ. ජයතිලක මහතා සමග ) - 1960, සක්වාලිහිණි- 1962, හෙට ඉරක්පායයි-1963, මක්නිසාදයත්- 1964, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත-1967, බෝඩිම -1970, නොමියෙමි -1973 , ප්‍රබුද්ධ - 1977 යන කාව්‍යය සංග්‍රහයන් ද සත්දන්ත සහ තවත් නාටක -1961, මුහුදු පුත්තු ( ගුණසේන ගලප්පත්ති මහතා සමග ) - 1964, හංස ගීතය සහ වෙනත් නිර්මාණය -1985 යන නාට්‍ය කෘතීන් ද තුංමංහංදිය -1967, මනෝමන්දිර -1971 යන නවකතාද මහගම සේකරගේ ගීත -1972, මහගම සේකරගේ නොපළ ගීත -1984 යන ගීත සංග්‍රහයන් ද මහගම සේකරගේ කෙටිකතාහා චිත්‍ර -1981, පීතර සහ තවත් කෙටිකතා - 2007 යන කෙටිකතාව සංග්‍රහයන් ද තුංමංහංදිය තිර රචනය -1997 යනසිනමා තිර රචනය ද .සිංහල ගද්‍ය පදය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ-2001 (තම ආචාර්ය උපාධිය නිබන්ධනය) ද වේ.
සේකර වැඩි වශයෙන් මෙරට සාහිතකාමීන් අතර ජනප්‍රියත්වයට හා සම්භාවනාවට පාත්‍රවී ඇත්තේ සුබාවිත ගේයපද රචකයකුවශයෙනි. ගුවන් විදුලි සරල ගීත ( විශේෂයෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟින් කරන ලද "මධුවන්ති" ගුවන් විදුලි සංගීතවැඩසටහන ) මෙන්ම නාට්‍ය - චිත්‍රපට ගීතද ඔහුගේ පන්හිඳෙන් රචනා වී ඇත. හෙතෙම නිරන්තරයෙන්ම ගැමිවහර , ජනකවියගුරු කොට ගනිමින් තම ගේයපද රචනා කළ බව පෙනේ. ඒවා අතර පිලේ පැදුර , ඉරට මුවාවෙන් ,
වක්කඩ ළඟ, රත්තදීප ජන්ම භූමි, දීප දීප නව-රත්තදීප, අපේ දේශයයි, සන්නාලියනේ , ඇසේ මතුවන කඳුළු බිදු ගෙන, මල ඉරබසිනා සැන්දෑ යාමේ, ගී පොතයි මී විතයි , පාළු අඳුරු නිල් අහස මමයි, ඔබේ නමින් සෑය බදිමි , ඉහළ වෙලේ ඉස්මත්තේ, වනන්තරේ වන පසුමල්, කන්ද උඩින් එන ගෝමරියේ,
නිරිදුනි මේ මහ සීගිරි කූටයේ, ගලා බසින ජලධාරාවක් සේ, ඔබ මා තුරුලේ ගී ගයනාවිට, මා මල දවසක ,
නීල කොබෙයි රෑන ඇදී වී අහුලන ඉපනැල්ලේ, බිංදු බිංදු මල් අතු අග පිපි මල්, පටු අදහස් නම් පවුරින් ලෝකය, සීතල දිය පිරිසුනිල විලයි යන ගුවන් විදුලි සරල ගීතද ඈත කදුකර හිමව් අරණේ , අන්න බලන් සඳ රන්තැටියෙන් , මුහුදු පතුලයට ඉඳලා යනනාට්‍ය ගීතද ඉතා ජනාදරයට පත්විය.එපමණක්ද නොව ගැටවරයෝ - 1964, සාරවිට - 1965 , ආදරයයි කරුණාවයි -- 1965,
වෙසතුරු සිරිත - 1966, දෙලොවක් අතර -- 1966, පරසතු මල් -- 1966, රන්සළු-- 1967, සත් සමුදුර -1967, බිනරමලී - 1969, තුංමංහන්දිය - 1970, වෙස්ගත්තෝ - 1970, සිහින ලොවක් - 1972 යනාදී චිත්‍රපටවලට සේකර විසින් රචනා කරන ලදගීතවලින් ඇතැම් ගීත සදහා සරසවි සම්මානයෙන් පවා ඔහු පිදුම් ලැබුවේ ය.
සේකරගේ නවකතා යුගල අතර සුවිශේෂී නවකතාව වන්නේ තුංමංහන්දිය - 1967 යි .තම ආත්මකථයනය වූ මෙමගින් අව්‍යාජගැමි දිවියේ දුක හා වේදනාවද සතුට හා සැනසීමද අතිශයින්ම සෞන්දර්යාත්මක හා මානව දයාවෙන් යුතුව විවරණය කරන්නේය. තවත් අතකින් මෙම නවකතාව අපේ ගැමි කලාකරුවාගේ ශෝකී ජීවන ගීතය වශයෙන් සැලකිය හැකිය. සේකර
විසින් තම නවකතාව 1970 දී සිනමාවට නැගීය. මෙරට සිනමා වංශකථාවේ නිර්මාණය වූ හොදම චිත්‍රපට විසිපහෙන් මුල්පෙලේචිත්‍රපටයක් වූ තුංමංහන්දිය 1971 චෙකොස්ලෝවැකියාවේ දී පවත්වන ලද ටෂ්කන්ට් චිත්‍රපට උළෙලේදී ඩිප්ලෝමා ( Diploma ) සහතිකය දිනා ගැනීමට සමත් විය.
තුංමංහන්දි චිත්‍රපටය අධ්‍යකෂණය කිරීමෙන් සේකර ශ්‍රී ලාංකේය සිනමාවේ තමාගේම නවකතාවක් සිනමාවට නැගූ පළමු ශ්‍රීලාංකේය අධ්‍යක්ෂකවරයා බවට පත්වූ අතර පළමු ආසියාතිකයාද වූයේය. ( දෙවැනි ආසියාතික සිනමාකරුවා වූයේ ඉන්දියානුශ්‍රේෂ්ඨ සිනමාකරු සත්‍යජිත් රායි [ Sathyajth Ray 1921 - 1992 ] ය. ඔහු 1977 දී තමාගේ Chess players යන නවකතාවShatranj Ke Khilari යන නමින් සිනමාවට නැගුවේය.)
1975 දී පමණ සේකර තමාගේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය වන ප්‍රබුද්ධ
චිත්‍රා බාලසූරියගේ නිෂ්පාදනයක් ලෙස සිනමාවට නැගීමට සූදානම් වූ බව කියැවේ. එනමුත් ඔහුගේ දෛවය ඊට හරස් විය.
සේකරගේ අවසාන හා විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය වනුයේ "ප්‍රබුද්ධ" යි . එය ප්‍රකාශයට පත් වන්නේ ඔහුගේ අකල් මරණයෙන් පුරාවසරක් ගතවීමෙන් ඉක්බිතිව ය. එය සමකාලීන සමාජයේ ආධ්‍යාත්මික පීඩනය වස්තු විෂය කොට ගැනුණකි.එහි ප්‍රධාන චරිතයවන ප්‍රබුද්ධ මාර්ගයෙන් කවියා ( එනම් සේකර ) පුද්ගල යථාර්තය විචිත්‍රණය කිරීමේ ප්‍රයත්නයක නිරත වේ.
ධනේශ්වර සමාජ ක්‍රමයේ බලවේග හා පීඩනය හමුවේ මනුෂ්‍යත්වයට අත්වන ශෝචනීය ඉරණම හා පවත්නා සමාජයට එරෙහිවසිදුවන නැගිටීම්ද
ඒ ඇසුරෙන් සිදුවෙතැයි ප්‍රාර්ථිත නව යුක්තිගරුක සාධාරණ සමාජය පිළිබඳ අපේක්ෂාවෙන් දැල්වුණු මනුෂ්‍ය ජීවිතය පිළිබඳවිචිත්‍රණය කෙරෙන ප්‍රබුද්ධ කාව්‍ය බස හා එහි රිද්මය ද කවිය හා සමාජ යථාර්තය ද පිළිබඳව ගතහැකි මෙරට කාව්‍ය සාහිත්‍යයේවූ විශිෂ්ටතම උදාහරණයක් ද වන්නේය.
වෙසෙසින්ම සිංහල සාහිත්‍යයේ නව මංපෙත් සොයා අතිදුෂ්කර ව්‍යායාමයක යෙදුණු සේකර බෞද්ධ දර්ශනයේ කියැවෙනමරණීය ධර්මතාවය ලොවට පසක් කර දෙමින් 1976 ජනවාරි මස
14 වැනි දින හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් සදහටම තම දෙනෙත් පියා ගත්තේ ය.
මල ඉර බසිනා සැන්දෑ යාමයේ
ඔබගෙන් සමුගෙන මා යන්නම් ..
මහගම සේකර කවිය පිළිබඳව මෙසේ කීය.
"කවිය වූ කලී කවියාගේ ආධ්‍යාත්මය
මිස අනිකක් නොවේ. කවිය දේශීය වන තරමට කවිය දේශීය ගුණයෙන් යුක්ත වෙයි.කවියා සංයමයෙන් යුත්ත වන තරමට කවියෙහිසංයමය ඇති වෙයි. කවියා නිර්ව්‍යාජ වන තරමට කවිය නිර්ව්‍යාජ වෙයි."
නවකතාකරුවකු , ගේයපද රචකයකු
වූ මඩවල එස්. රත්නායක මෙසේ කියයි.
"මිනිස්කම හොදින් දැනසිටි මහගම සේකර ඒ මහඟු ගුණය තම කලා නිර්මාණ තුළින් ද මැනවින් ප්‍රකට කළේය."
●විශේෂ කාරණාව -------
මෙහි උපුටා දක්වන ලද ඡායාරූපවල අයිතිය මුල්ම ඡායාරූපශිල්පීන් හා පුවත් සතුවන බව කරුණාවෙන් සලකන්න.
~පූජ්‍ය ඇතිපොළ මංගල හිමි සහ ඡායාරූප ශිල්පීන්ට මූලික අයිතිය හිමිවේ. -