අප ජීවත් වන්නේ මානව අයිතිවාසිකම් සම්බන්ධව ලෝකයම ඉතා උනන්දු සහ උද්‍යෝගයෙන් කටයුතු කරන යුගයක යි.අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන විශේෂයෙන් LGBTIQA+ (Lesbian ,Gay,Bisexual ,Transgender,Intersex,Queer,
ශ්‍රී ලංකා නීතිය තුළ පිළිගැනීමක් ලබා දී ඇත්තේ ස්ත්‍රී සහ පුරුෂ යන පුද්ගල කාණ්ඩ දෙකට පමණි.ඒවා හැර තුන්වන ස්ත්‍රීපුරුෂභාවයකට (3rd gender) හෝ සංක්‍රාන්ති ලිංගිකයන්ට (Transgender ) නීතිය ඉදිරියේ පිළිගැනීමක් ලබා දී නැත.නමුත් තුන්වන කාණ්ඩයකට පිළිගැනීමක් ලබා දී ඇති අතරඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටද පියවර ගෙන ඇත.නෛතික ස්ත්‍රීපුරුෂභාවය (Legal gender) ජීවවිද්‍යාත්මක වෙනස් කිරීමට හැකි නිශ්චිත ක්‍රමවේදයක් අප රටේ නොමැත.යම් පුද්ගලයෙකට තම ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ ස්ත්‍රීපුරුෂභාවය (Gender designation ) වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් අනුගමනය කළ යුතු කාර්‍යපටිපාටිය කුමක්ද යන්න නිශ්චිත නොමැත.තවද ජීවවිද්‍යාත්මක ස්ත්‍රීපුරුෂභාවය ශල්‍යකර්ම හෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් වෙනස් කිරීමට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ද ලංකාවේ නොමැති සේම ඒ සදහා අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාදාමයක් ද මේ වන තෙක් නිර්මාණය කොට නොමැත.
යම් පුද්ගලයෙකු තමාගේ ස්ත්‍රීපුරුෂ අනන්‍යතාව (Gender Identity ) සමාජයට ප්‍රකාශ කරන ආකාරය ස්ත්‍රීපුරුෂ සමාජභාවය ප්‍රකාශනය (Gender Expression ) ලෙස හදුන්වයි.මෙම සංකල්පයට ද මානව හිමිකම් නීතිය තුළ ලිංගික හැඩගැස්ම (Sexual Orientation ) සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය (Gender Identity ) යන සංකල්පවලට මෙන්ම පිළිගැනීමක් ඇත.යම් අයෙකු විරුද්ධ ලිංගිකයෙකු අඳින පලඳින ආකාරයට ඇඳ පැලඳ සිටීම නිසා (Cross-dressing ) වෙනස්කමකට භාජනය නොක්ළ යුතු බව ද පිළිගත් සිද්ධාන්තය කි.ලංකාව තුළ ද තත්වය ඒ හා සමාන ද යන්න අවධානය යොමු කළ යුතු ය.
ශ්‍රී ලංකාවේ විරුද්ධ ලිංගිකයන් සේ අඳින පළඳින පුද්ගලයන්ගේ (Crossdressers) අයිතිවාසිකම් සීමා කිරීමට වරින් වර යොදා ගන්නා ලද පනත් දෙකක වගන්ති දෙකක් ඇත.ඉන් පළමු වැන්න 1941 අංක 04 දරණ අයාල ආඥාපනත (Vagrants Ordinance ) යි.එහි 07 වගන්තියේ උපවගන්ති (අ) සහ (ආ) දෙකේ හරය මෙලෙස සරලව දැක්විය හැක.
(අ) -යම් ප්‍රසිද්ධ ස්ථානයකදී හෝ අවට තමා සමග හෝ අන් අයෙකු සමග ලිංගික සංසර්ගයේ යෙදීමට හෝ අශිෂ්ට ක්‍රියාවක යෙදීමට පෙළඹවීම වරදකි.
(ආ)- යම් කිසි පුද්ගලයෙකු ප්‍රසිද්ධ ස්ථානයක දී හෝ අවට යම් දැඩි අශිෂ්ට ක්‍රියාවක් හෝදැඩි අශිෂ්ට ආකාරයෙන් හැසිරීම වරදකි.
ඉහත වගන්ති දෙක යොදා ගෙන විරුද්ධ ලිංගිකයෙකු ලෙස අඳින පලඳින අයෙකු අත් අඩංගුවට ගත හැකිද යන්නත් වගන්තිය විශ්ලේෂණය කර බැලිය යුතුය.හුදු විරුද්ධලිංගික ඇඳුමකින් සැරසීම නිසාම පුද්ගලයෙකු ලිංගික සංසර්ගයකට හෝ වෙනත් අශිෂ්ට ක්‍රියාවකට පෙළඹවීම කළ නොහැක.එසේම මෙසේ ඇඳ පැලඳීම "අශිෂ්ට ක්‍රියාවක්" ලෙස නිර්වචනය කළ හැකිද යන්න ප්‍රශ්නයක් මතු වේ.පනතේ අර්ථය ඒ දක්වා පුළුල්ව අර්ථනිරූපණය කරනු ලැබුවහොත් කලිසම් අඳින කාන්තවන් ද මේ වගන්තිය යටතේ වරදක් කරන ලෙස සැලකීමට සිදු වේ.ව්‍යවස්ථාදායකය මෙම පනත තුළින් මෙවැනි කාර්‍යක් බලාපොරොත්තු වූව යැයි සිතිය නොහැකි නිසා විරුද්ධ ලිංගිකයම් සේ අදෛන පලදින පුද්ගලයන්ට එරෙහිව මෙම නීතිය භාවිතා කිරීම වැරදිසහගත බව මාගේ පුද්ගලික මතයයි.
දෙවෙනි පනත වන්නේ දණ්ඩ නීති සංග්‍රහය (Penal Code) යි.එහි 399 වගන්තිය තුළ "අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම" යන වරද දක්වා ඇත.එහි සදහන් වන්නේ " යමෙකු වෙනත් තැනැත්තෙකු ලෙස බොරුවට හඟවමින් හෝ වෙනත් තැනැත්තෙකු වෙනුවට තවත් තැනැත්තෙකු දැනුවත්ව පෙනී සිටිමින්,හෝ එකී තැනැත්තා හෝ වෙනත් තැනැත්තෙකු නියම වශයෙන්ම එකී තැනැත්තා හෝ වෙනත් තැනැත්තෙකු නොව ,අන් තැනැත්තෙකු යැයි නිරූපණය කරමින් රවටතොත් ඔහු "අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කළ ලෙස" සලකනු ලැබේ " යනුවෙනි.මෙම වගන්තිය සම්බන්ධව ලබා දෙන ලද ස්මිත් එරෙහිව ජයසූරිය (1899 Koch's rep 42 ) යන නඩුවේදී ප්‍රකාශ කරන ලද්දේ අන් අයෙකු ලෙස පෙනී සිටීම නිසා යම් පුද්ගලයෙකු රැවටීම ප්‍රමාණවත් නොවන බවත් විත්තිකරු විසින් පැමිණිලිකරුව වංචාසහගතව සහ වංචනිකව රැවටූ බව ඔප්පු කළ යුතු බවයි.මෙම තීන්දුව අනූව පෙනී යන්නේ පුද්ගලයෙකු විරුද්ධලිංගිකයෙකු ලෙස ඇඳ පැලඳ සිටි පමණින් මෙම වගන්තිය යටතේ වරදක් කළා යැයි පවසමින් අත් අඩංගුවට ගත නොහැකි බවයි.
අප විසින් ඉහත විමසුමට ලක් කළ ඉහත පනත් දෙකේ වගන්ති විශ්ලේෂණය කිරීම තුළින් පෙනී යන්නේ වංචනික අරමුණකින් තොරව විරුද්ධ ලිංගිකයෙකු ලෙස ඇඳ පැළඳ සිටීම තුළින්ම හෝ ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම මගින් අපරාධමය වරදක් සංස්ථාපනය නොවන බවයි.එම වගන්ති දෙක යටතේ නිර්දෝෂී පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන හෙයින් පොලිස් නිලධාරින්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් වුවද ගොනු කළ හැකිය.Cross-dressing සම්බන්ධව නීති තත්වය මෙය වුවද සමලිංගිකයන් දෙදෙනකු ලිංගිකව එකතු වුවහොත් එය අපරාධමය වරදක් ලෙස සැලකේ.දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ වගන්තිය මගින් සමලිංගික සබදතා තහනම් කොට ඇත."තැනැත්තන් අතර දැඩි අශිෂ්ට ක්‍රියා" ලෙස දක්වා ඇති එම වගන්තියේ සදහන් වන්නේ ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තෙකු සමග දැඩි අශිෂ්ට ක්‍රියාවක් සිදු කරන නැතහොත් එවැනි යම් ක්‍රියාවකට පාර්ශවකරුවෙකු වන හෝ එබඳු යම් ක්‍රියාවක් යම් තැනැත්තකු විසින් කරනු ලැබීම කුට්ටනය කරන හෝ කුට්ටනය කිරීමට තැත් කරන අයෙක් වරදක් සිදු කරන බවයි.මෙහි කුට්ටනය ලෙස සැලකෙන්නේ ගණිකා සේවයේ යෙදවීම වේ.මෙම වරදට වසර දෙකක් දක්වා සිරදඩුවම් ලබා දිය හැකි බව දක්වා ඇත.යම්හෙයකින් මෙම වරද වයස 18 ට වැඩි පුද්ගලයෙකු විසින් වයස 16 ට අඩු පුද්ගලයෙකුට කරනු ලබයි නම් අවුරුදු 10 සිට අවුරුදු 20 දක්වා සිරදඩුවම් ලබා දීමට හැක.මේ සම්බන්ධව මා විසින් ලියන ලද "සමලිංගික සේවනයේ යෙදීම වරදක් ද?" යන ලිපිය තුළින් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බැවින් මෙහිදී ඒ සම්බන්ධව දීර්ඝව සාකච්ඡා නොකරමි.
පොලිස් නිලධාරින් විසින් විරුද්ධලිංගිකයන් සේ අඳින පළඳින පුද්ගලයන් සම්බන්ධව කටයුතු කරන ආකාරය වෙනස් විය යුතුය.ඔවුන්ට ද සමාජයේ නිසි ගෞරවය හිමි විය යුතුය.මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයේ පළමු වගන්තියේ දක්වා ඇත්තේ "සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත.ගරුත්වයෙන් හා අයිතිවාසිකමවලින් සමාන වෙති.යුක්ති අයුක්ති පිළිබඳ හැඟීමෙන් හා හෘදය සාක්ෂියෙන් යුත් ඔවුන්,ඔවුනොවුන්ට සැලකිය යුත්තේ සහෝදරත්වයෙනි" යනුවෙනි.පුද්ගලයෙකුගේ ලිංගික අනන්‍යතාව ,ලිංගික හැඩගැස්ම හෝ ස්ත්‍රීපුරුෂභාවය ප්‍රකාශනය අනුව වෙනස් කොට සැලකීම මානව හිමිකම් උල්ලංඝනය කි.එහෙයින් මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් කටයුතු කිරීමට පොලිස් නිලධාරින්ට අත් හැරිය නොහැකි වගකිමක් ඇත.එසේම එවන් මානව හිමිකම් කඩ වීමක් වනවා නම් ඊට එරෙහිව හඬ නැගීම තුළින් අරගල කිරීම තුළින් වඩා සුන්දර හෙට දවසක් නිර්මාණය කරගැනීමට පුරවැසියන්ට ද අයිතියක් හා වගකීමක් ඇත.
~ නීතීඥ සාරංග වාදසිංහ ~
Followers
Wednesday, April 27, 2022
Cross-dressing නීතියට එකඟද නැද්ද ?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment