වැව් රාජකාරිය
01වෙනි ගජබා රජු විසින් තනවන ලද නගර වැව හෙවත් නුවර වැව ද,ධාතුසේන රජු විසින් කළ කලාවැව හා දෙවන මුගලන් රජතුමා විසින් කරන ලද පදී වැව හෙවත් පදවි වැව යන ප්‍රධාන වැව් තුන පසුබිම් කරගෙන නුවරකලාවිය යන නාමය පටබැඳී ඇති බව අවිරෝධීව පිළිගැනේ.පුරාණ බෙදීම් අනුව පළාත් තුනකිනුත්,කෝරළ 17කිනුත් සමන්විත වර්ග සැතපුම් 2808.64ක වපසරියකින් නුවර කලාවිය සමන්විත වෙයි.නුවරකලාවියේ ඇත්තන්ගේ උපැත්ම,පැවැත්ම හා නැවැත්ම යන තුංමංසලටම කේන්ද්‍රස්ථානය වූයේ වනාන්තරයත් ගම පදනම් කරගත් වැවත් ය.කාලානුරූපව ගොඩනැගුණු නුවරකලාවිය හෙවත් වැව්බැඳි රාජ්ජේ ගම් දනවුවල චිරාත් කාලයක සිටම පැවැත්වෙමින් එන ප්‍රධාන ජනමංගල්ල(වරිග මංගල්ල,අටවිධ කිරි ඉතුරුම් මංගල්ල,වැව් මංගල්ල,වෙල් මංගල්ල,ගම් මංගල්ල,විහාර මංගල්ල,දේවාල මංගල්ල)අතරින් ඉතා උත්කර්ෂවත් ලෙස පරවැත්වෙන වැවෙි රාජකාරිය හෙවත් මුට්ටි නැමුම් මංගල්ලෙ පිළිබඳ සටහනකි මේ.
වැව්බැඳි රාජ්ජෙට අරක්ගත් අයියනායක දෙවියන් උදෙසා කෙරෙන විසිතුරුම යාතුකර්මය මුට්ටි නැමීමෙි මංගල්‍යයයි.එසේම මුට්ටි මංගල්ලය නමින් දන්නා රැයක් පහන්වී පසුදා දහවල් වනතුරු පවත්නා උත්කර්ෂවත් ශාන්තිකර්මය දෙයාකාරයකින් පැවරත්වෙි.ඒ මුට්ටි නැමීමේ පෙරහැර(රාජකීය ප්‍රධාන වැව් තුන ආශ්‍රිතව කලාවැව,නුවර වැව,පදවාය වැව) හා මුට්ටි නැමීමේ මංගල්ලේ වශයෙනි.
****ගමේ වැවෙි මුට්ටි මංගල්ලේ.....
රාජකීය වැව්වල වාපි මාමක දෙවිකෙනෙකුට පුද පූජා පැවරත්වෙන පරිදිම අයියනායක දෙවි ප්‍රධාන දේව මණ්ඩලයක් සඳහාම ගමේ මුට්ටි මංගල්ලයද පැවැත්වෙයි.සාමාන්‍යයෙන් මෙම මංගල්ලයක් වසර පහකට හෝ හතකට වරක් පැවැත්වෙයි.ගැමි සම්මුතියෙන් මුට්ටි නමන දින නියම කරගත් පසුව වෙල් විදානේ ඇතුළු ප්‍රභූවරු කීප දෙනෙකු මුට්ටි සාදන බඩහල්රාළ,වාජ්ජංකරුවන්,කෝල්මුර කරුවන් සහ හේනයා යන මෙහෙවර කරුවන්ට බුලත් නම්බු දී මුට්ටි නැමීමේ මංගල්ලෙට ආරාධනා කරන්නේ මුට්ටි නමන දිනයට සතියක් තියෙද්දී ය.මේ අතර ගම්මුලාදෑනියාගේ නිවස ඉදිරිපිට පන්දලමක් ඉදිකිරීමත් එහි එක් කොණක ගුහාලයක්(මැස්සක්)ඉදි කිරීමත් සිදුවෙි.
අදාළ දිනයට පෙඑ ගමේ පංගුකරුවෝ තමා මෙම මංගල්ලයට භාරගත් කැවිලි පෙවිලි හාල් පොල් ආදි කලමනා ගෙනැවිත් එම පන්දලමේ ගුහාල යහනේ තැන්පත් කරති.එසේම බොහෝ ගම්වල වැවෙි දියකෝල්බඩට තදාසන්නයේ මුට්ටි නැමීම සඳහාම භාවිතා කරන ගසක් තිබෙි.මෙය අරටු සහිත වැව් ජලයෙන්ම පදම් වී ගිය කුඹුක් වැනි ගසකි.ගැමියන් මුට්ටි නමන්නේ එහි "තුනත්ත"(අතු තුනකින් යුක්ත)මතය.මුට්ටි නමන මේ ගස ගැමියන් නම් කරන්නේ "මුට්ටි නැම්ම"වශයෙනි.එසේ මුට්ටි නැම්මක් නොමැති වැවක දණහස් මට්ටමට ජලය ඇති දියෙහි කුඹුක් හෝ කරඳ කණු තුනක් සිටුවනු වෙනුවට අතු තුනක් විහිදී ගිය එක කණුවක් සිටුවති.එසේ වූ මුට්ටි නැම්මට මුහුණ ලා වැව් කණ්ඩියේ මල්පැලක් ඉදිකර එහිදී ගුහාල යහනක් සාදන අතර,ඊට සමගාමීව දියකෝල්බඩ ගොක්කොළ තොරණක් ද සෑදීම සිදු කෙරේ.
මේ සියල්ල සිදුවීමෙන් පසුව නියමිත දිනට පෙර දිනයේ සවස් භාගයේ බුලත් නම්බු ලැබූ මෙහෙවර කරුවෝ වෙල්විදානේගෙි නිවසට තම මෙහෙවර භාණ්ඩ ද රැගෙන පැමිණෙති.බඩාල් රාළ විසින් සාදවන ලද මුට්ටි තුන සුදුවතක ඔතා ඒ වන විට එහි සිටින කපුරාළට පිළිගන්වා පන්දලමේ ඇති ගුහාල යහනේ දෙවියන් පෙට්ටිය ඇති ඇතිරිල්ලක් මත තැම්පත් කිරීම සිදු කෙරේ.සියල්ල සූදානම් වූ පසු මළ ඉරගල වැටෙන යාමේ මල්පැල වෙත හේවිසි කෝල්මුර පෙරහරින් කපුරාළ ගමෙි පිරිවර සමග දෙයියන් පෙට්ටිය වරඩමවීම කරනු ඇත.අනතුරුව මල්පැලේ ගුහාල යහනේ සුදු ඇතිරිල්ලක් මත බුලත් මඩෙි දී ඊට අවැසි උක් හකුරු,පළතුරු කැවිලි වර්ග,මල් ආදියෙන් යහන සරසයි.එහි දේවාභරණ තැබෙයි.අයියනායක ආභරණය වන රන්බොණ්ඩි වැල සහිත පත්තිනි ගිනි සළඹ ඒ අතර සුවිශේෂී වෙයි.
එයින් අනතුරුව දෙහෝරාවක් පමණ මල්යහන් කවි ගායනා කරන අතර කෝල්මුර කරුවෝ උඩැක්කි වයන අතර,වාජ්ජංකාරයෝ බෙර දවුල් වයති.කපුරාළට දෙවියන් කැඳවීමෙි යාතිකාව කියා මීතෙල් වලින් හෝ ගිතෙල් වලින් තොරණේ සහ ගුහාල යහනේ පහන් දල්වයි.මෙසේ යහනට දෙයියන් වැඩමවා පහන් දල්වා මල් පැල තුළ එතෙක් සිදුකළ සැන්දෑ "තේවාව" නිමකරයි.පන්දලමට රැස්වන පිරිස උදෙසා ගෙවිලියන් විසින් සාදන ලද ආහාර පිළිගැන්වෙි.තෙල් බැදුම් පිළිහුඩු මේ සඳහා නොගනිති.පසුදා කුකුළා හඬලන ජාමෙි කපුරාළ සහ අනෙකුත් සියලු දෙනාම අවදි වී තම කටයුතුවලට සැරසෙන අතර,කපුරාළ සහ වෙල් විදානේද මුට්ටි නමන තිදෙනාද නාගත යුත්තේ හඳුන් කිරිපැන් මිශ්‍ර ජලයෙනි.මුට්ටි නමන තිදෙනාද නාගත යුත්තේ හඳුන් කිරිපැන් මිශ්‍ර ජලයෙනි.ඊට පසු කපුරාළ ඇතුළු පිරිස අලුයම් ආහාරය(හීල් අඩුක්කුව/පෙර බත/නොරොප්පු බත/තේවාහීල/පයිණ්ඩහීල)වළඳති.
අලුයම් ආහාර සප්පායමෙන් පසුව කපුරාළ පිරුවට හැඳ පන්සිල්හි පිහිටා මුට්ටි තුනම හඳුන් කිරිපැනෙන් නහවා දුම් අල්ලන අතර ගමේ හරක් පට්ටියක අයිතිකරුවෙකු ගව පට්ටියේ කුළුඳුල් දෙනුන්ගෙන් දොවා ගත් කිරි ගෙනැවිත් වෙල් විදානෙට බාර දෙයි.කිරි බහාලූ මුට්ටි තුන සුදු රෙදිකඩෙකින් වසා තැබෙයි.
මේ සමගම හේවිසි කරුවන් හේවිසි දක්වද්දී ගමේ සියලුම පිරිමි පමණක් මුට්ටි නැමුම් මංගල්ලය සඳහා කහකැටි හිරුත් සමග රොක් වෙති.පෙර දින පේ කළ යහන නැවතත් සරසා දුමින් නහවා කපුරාළ යාතිකා වෙයි.එයින් කියවෙන්නේ පෙර බාරහාර පරිදි චිරාගත සිරිත්වලට කිලුටක් නොකර,මෙම මුට්ටි මංගල්ලේ සිදු කරන බවයි.මල්පැල වෙත ගෙන එනු ලබන මුට්ටි පිළිගනු ලබන්නේ කපුරාළ ,වෙල් විදානේ සහ ගමේ තලත්තෑනි අයවලුන් විසිනි.ඉන්පසු මුට්ටි තුනම යහන් මත තබා ගමේ මුරුතැන් කපුවෝ වැව් කණ්ඩියේ මල්පැල අසළ ලිප් බැඳ රජ හැළිය සරසවා කිරි ඉතිරීම ආරම්භ කරති.එසේ කිරි රත්වී උතුරා යන්ට මත්තෙන් කපුරාළ විසින් ගරන ලද සහල් දෝතක් ගෙන යහනට නමස්කාර කර සෑම දිසාවටම කිරි ඉතිරී යන පරිදි එම සහල් දෝත රජ හැළියේ ඉතිරෙන්නට සූදානම්ව ඇති කිරි මතට බහාලනු ලැබෙි.එයින් හැළියේ කට දක්වා ඉතිරී ආ කිරි සෑම දිසාවටම විසිඑී යද්දි යහන අසල පොල් ගෙඩියක් ගසා බිඳියි.
කිරිබත සකසාගත් පසු හේවිසි ඇතුළු ශබ්ද පූජා මධ්‍යයේ එය බාගෙන ආස්තරණයක් මත තබති.කපුරාළ මුඛවාඩම් බැඳගෙන ගොටු තුනකට හෝ දෙකකට එම කිරිබත්වලාන් බෙදයි.එම ගොටුවලට කිරිබත්,යහනේ ඇති පළතුරු,කැවිලි ආදිය ද දමා අත්තෙල් වලින් සාදන ලද පන්දමක් ද එහි දල්වනු ලැබෙි.මේ සියල්ල හිරු දුන්නක් සේ නැගෙන්නට කලියෙන් නිමකර මුට්ටි තුන යහනින් "මුට්ටි නැම්ම"වෙත වැඩමවන්නේ මතු කී ඊට පේවී සිටින තිදෙනා ය.මේ අතර හේවිසිකරුවන්ගේ අභීන පද මධ්‍යයේ මුට්ටි රැගත් තිදෙනා වැව් ජලයට කිරි මිශ්‍රවන පරිදි මුට්ටි නැම්මෙි මුට්ටි මුනින් අතට තුනත්තේ රඳවති.කිරි ජලයට සම්මිශ්‍ර කිරීම දෙවියන් හා ගැමියා අතර සහසම්බන්ධය ඇති කරන්නක් ලෙස සැලකේ.මෙසේ මුට්ටි නමද්දී වෙඩි තුනක් නිකුත් කෙරෙයි.......
ප්‍රදේශ වශයෙන් හා කාලානුරූපව සිදුවූ යම් යම් වෙනස්කම් ඇතත් මුට්ටි නැමීමේ ක්‍රමවෙිදය අති චමත්කාරජනක සංසිද්ධීන්ගෙන් පිරී පවතී.මෙසේ වූ මංගල්ලය නිමාවන්නේ මල්පැල අසල සියලුම දෙනා හිඳීගෙන ඉතිරූ කිරිබත් සහ පිසින ලද බත්,වෑංජන වළඳා විසිරී යෑමෙන් පසුව ය.මුට්ටි මංගල්ලයේ යථාර්ථය වූ කලි නුවර කලාවියේ ජනයාගේ ජීවිතයේ රැහිරය ලෙස සැලකිය හැකි වාපී ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමත්,ඒ සඳහා පාරම්පරික නීති රීති හා සංස්කෘතිකාංග සුරැකීමේ අවශ්‍යතාවත් පෙන්වා දෙනු ලබන්නකි....
2022/09/7 වන බදාදා
No comments:
Post a Comment