Followers

Monday, January 18, 2021

 මගේ චූටි දූ බලන්න මා ගියදා...



මේ කියන කතාව මට කිවුවෙ මගේ හිතවත් අක්කා කෙනෙක්. එයා වැඩ කරන ප්රදේශයේ සිසුවුන දෙයක් මේ. මේ සිදුවීමත් ගීතයත් එකිනෙකට පෑහෙන නිසා ගීතයත් එක්ක සම්බන්ධ කරගෙන යම් යම් කොටස් එකතු කරගෙන මෙහෙම ලියන්න හිතුනා. මේ කතාව සත්ය කතාවක් නිසා මෙහි භාවිකා කරල තියන නම් ගම් සත්ය ඒවා නොවන බව සලකන්න.
"අනේ බලන්නකො සුමනෙ අන්න අදත් දුව කොන්දෙ කැක්කුමයි කියල ඉස්කෝලෙ ඉදන් ගෙදර එක්කන් ආවා. කී දොහක ඉදන් මේ දරුවට කොන්දෙ අමාරුව තියනවද.. ?" නිමලි එහෙම කිවුවෙ කම්මුලට අත තියාගෙන..
"ඒකනෙ මාත් බැලුවෙ.. මේ දරුවට දැන් මාසයක් දෙකක් බේත් කලානෙ.. කෝ වෙනසක් ඇත්තෙම නැහැනෙ.." සුමනදාස එහම කිවුවෙ තමන්ගෙ පන වැනි දියනියගෙ අසනීප තත්වය හිතාගන්න බැරි විදියට නරක අතට හැරෙමින් තිබුන හන්දා...
සුමනදාසලා ජීවත් වුනේ අනුරාධපුරේ නොචිචියාගම පැත්තෙ... ඔවුන් ගොවිතැන් කරල තමයි ජීවත් වුනේ... සුමාලි තමයි ඔවුන්ගෙ වැඩිමල් දියනිය.. ඊට පස්සෙ පුතෙක් ඉපදුනත් තමන්ගෙ ජීවිතේට ආව පලවැනි දරුව නිසා සුමනදාස සුමාලිට ගොඩක් ආදරේ කලා. ඒත් කවමදාකවත් ඔහු ඒක පෙන්නනන්න ගියේ නෑ. ඒත් මේ වගේ වෙලාවක දෝරේ ගලන ඒ සෙනෙහස නිරායාසයෙන්ම එලියට එනවා.
සුමාලි අසනීප වෙන්න ගත්තෙ පාසලේ 10 වසරේ අවසානෙදි.. සාමාන්ය පෙලට ලෑස්ති වෙන කාලෙ. නොච්චියාගම ඉස්පිරිතාලෙ දොස්තර මහත්තයාගෙන් කොච්චර බේත් කලත් අඩුවක් නැති හන්දා ඔවුන් තීරණය කරනවා අනුරාධපුර මහ ඉස්පිරිතාලෙට යන්න..
එහෙදි කරපු පරීක්ෂණ ගනනාවකින් පස්සෙ තමයි දැනගන්නෙ තමන්ගෙ ආදරනීය දියනියට හැදිල තියෙන්නෙ වකුගඩු අසනීපය කියල... එතන ඉදන් ඔවුන් කොච්චර මහන්සි උනාද තමන්ගෙ දියනිය බේරගන්න..
අනුරාධපුර ඉස්පිරිතාලෙ දොස්තර මහත්තයෙක් සුමාලි ගැන නිතරම හොයලා බැලුවා. බේත් හේත් වලින් යම් සහනයක් දෙන්න හැදුවත් ටික දවසකින් ඒක කරන්න අමාරු බව දොස්තර මහත්තයාට තේරුණා. ඉන්පස්සෙ මාස තුනකට පාරක් ලේ මාරුකරන්න ගත්තා. ඉන් පස්සෙ මාස දෙකකට පාරක්. එයින් පස්සෙ මාසෙකට පාරක්. එතනින් ඒක නැවතුනේ නෑ. ඊලගට සතියකට පාරක්. එහෙම හිටියෙ සති දෙකතුනයි. සුමාලිව රොහලේ දිගටම නවත්තන්න වුනා. එතනින් පස්සෙ හැමදාම ලේ මාරුකරන්න වුනා. එහෙම වෙලා දවස් හතරයි හිටියේ.
සුමාලි ගමේ හිටිය ලස්සනම ගෑණු ළමයින්ගෙන් එක්කෙනෙක්. මේ අසනීප තත්වය නිසා ඇයට සාමාන්යපෙළ විභාගයට වාඩිවෙන්න බැරි වෙනවා. 2016 සැප්තැම්බර් මාසෙ 5 වෙනිදා ඇය සදහටම දෙනෙත් පායාගන්නවා.
සුමාලිගෙ හුස්ම ටික යනකොට ඇය ළග හිටියෙ ඇයගෙ අම්මා. අම්මා විලාප තියලා අඩන්න ගත්තා. ඒ ඇගේ විදිය. ඇයට අඩන්න කදුලු නැති වෙනකල්ම ඇය ඇඩුවා.
මලගෙදර ඉවර වෙලා මිනිය සොහොනට අරන් ගියා... ඒත් තමන්ගෙ පණ වගේ දියනියව පස් වලට යට කරනව බලන්න සුමනදාසට හයියක් තිබුනෙ නෑ සොහොනට යන්න. සුමනදාසගෙ හදවත කෑ ගහලා ඇඩුවා. ඒත් ඔහු ඒක පිටට පෙන්නුවේ නෑ. දරාගන්න පුලුවන් උපරිමයෙන් දරා ගත්තා. ඒත් පසුවදා තනියම ඔහු සොහොනට යනවා.. ගිහින් කෑගහල අඩාලා කියනවා තමන්ගෙ සිතේ තමන්ගෙ දුවට තියෙන ආදරේ....
මගේ චූටි දූ බලන්න මා ගියදා
මහා වැස්සක් ඇද වැටුණා ඇයි මන්දා
වටපිට බැලුවත් කවුරුත් නැති හන්දා
මගේ ආදරේ කීවා කෑගහලා...
මගේ ආදරේ කීවා කෑගහලා...
ඇයි සුදු දෝනී නුඹ තනියෙන් ඉන්නේ
ඇයි නුඹ මාහට එන්නට නොකියන්නේ
මා මෙහි ආවත් නුඹ දුරුකරයි ඉන්නේ
ඇයි මට නුඹගේ හඩවත් නෑසෙන්නේ..
තමන් පණ වගේ ආදරය කරපු දියණිය අද තනියම සොහොනකට වෙලා. පුන්චි කාලෙ කියපු හුරතල් කතා ඔහුගෙ ඇස් ඉදිරියේ මැවිල පෙනෙන්න ගත්තා. අප්පච්චී අප්පචී කිය කිය පස්සෙන් එන හැටි මැවිලා පෙනෙන්න ගත්තා. ඔහුගෙ හිතට දැනෙන්නේ ඔහුටත් ඇය ලගටම යන්න තිබුනනම් කියන හැගීම. ඔහුට දැනෙනවා අඩුම තරමේ නුඹගෙ හඩවත් ඇහෙනවා නම් හිත හදාගන්න පුලුවන් කියලා. ඒත් කොච්චට අහන් හිටියත් ආයෙ කවදාවත් ඔහුට ඒ හඩ අහන්න වෙන්නේ නෑ. ඒ නිසාම ඔහු සොහොන ලග කෑ ගහලා හඩා වැටෙනවා.
මල් ගස් වල මල් පිපිලා පරවෙන්නේ
ඒ මල් විතරද නුඹෙ තනියට ඉන්නේ..
නිහඩව සිටියත් ඇස් නැහැ උහුලන්නේ
ඒවා මාකන්නද මහ වැසි ඇද වැටුනේ...
දරු පැටව් හරියට මල් වගේ . සොහොනෙ පිපිලා තියන මල් වලිනුත් ඔහු දකින්නේ ඔහුගේ දියණියව. ඇය හැමෝම අතෑරලා තනියම ආපු මේ ගමනේ ඇයගෙ තනියට මේ මල් පිපිලා තියනවා වගේ ඔහුට දැනෙනවා. සොහොන ලග ඉන්නකොට ඇද වැටුන මහ වැස්ස ඔහුගෙ ඇස් වලින් ගලපු කදුළු මකන්න වැහැපු වැස්සක් වගෙයි ඔහුට දැනුනේ.
තනිවම මහා දුකක් දරාගත්ත මේ අප්පච්චී තනිවම සොහොනට ඇවිත් කෑ ගහලා අඩලා තමන්ගේ දුක තුනි කරගන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද?
මගේ චූටි දූ බලන්න මා ගියදා
මහා වැස්සක් ඇද වැටුණා ඇයි මන්දා
වටපිට බැලුවත් කවුරුත් නැති හන්දා
මගේ ආදරේ කීවා කෑගහලා...
මගේ ආදරේ කීවා කෑගහලා...
ඇයි සුදු දෝනී නුඹ තනියෙන් ඉන්නේ
ඇයි නුඹ මාහට එන්නට නොකියන්නේ
මා මෙහි ආවත් නුඹ දුරුකරයි ඉන්නේ
ඇයි මට නුඹගේ හඩවත් නෑසෙන්නේ..
මල් ගස් වල මල් පිපිලා පරවෙන්නේ
ඒ මල් විතරද නුඹෙ තනියට ඉන්නේ..
නිහඩව සිටියත් ඇස්නැහැ උහුලන්නේ
ඒවා මාකන්නද මහ වැසි ඇද වැටුනේ...
ගායනය - ඉදුනිල් අන්ද්රමාන